Featured

භික්ෂූන්ගේ ලේ සොලවා දේශපාලනය කල ජවිපෙ-ජවිපෙ දෙවැනි කැරැල්ලේදී භික්ෂූහු 724 කැළෑ නීතියෙන් මරුට

ජවිපෙ තහනමින් පසු 1987 මුල්භාගය වනවිට වෘත්තීය සමිති ව්‍යාපාරයේ තරුණ රැඩිකල් කම්කරුවන් අතරත් දෙමළ බෙදුම්වාදයට එරෙහි සරසවි සිසුන් සහ තරුණයින් අතරත් ජවිපෙ මුළු ශක්තියම වාගේ රැදී තිබිණි. කම්කරුවන් අතර ඒ වෙනුවෙන් 1986 ජුනි 8 ජනතා සටන් පෙරමුණ දෙමටගොඩ වෙළෙඳ සංකීර්ණය භූමියේදී සහ පළාත් සභා යෝජනාවලට එරෙහිවන්නන් සඳහා මව්බිම සුරකිමේ ව්‍යාපාරය 1986 ජුලි 26 දෙමටගොඩ පාඨානගාර විහාරයේදී ආරම්භ විය.

JVP_MONK (2)

ජවිපෙ මගින් ඝාතනයකල භික්ෂූන් 41 දෙනා අතර සිටි නායක හිමිවරුන් කිහිපදෙනක්.(වමේ සිට) කළුතර තොටමුණේ ප්‍රධාන සංඝනායක පොහොද්දරමුල්ලේ පේමාලෝක හිමි, ප්‍රකට ධර්ම කථික කොටිකාවත්තේ සද්ධාතිස්ස හිමි, මාතර වැල්තොට පඥ්ඥාදස්සි හිමි සහ මිද්දෙණියේ පුරාණ විහාරාධිපති බෙලිගල්ලේ මහින්ද හිමි.

ජවිපෙ සිය දෙවන කැරළි සමයේදී භික්ෂූන් කෙරෙහි වැඩි බරක් යෙදවුයේ ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සහ දෙවන කැරැල්ල අවසානයේ ජවිපෙ නිල නොවන තෙවන නායකයා බවට පත්වූ ඩී.එම්. ආනන්ද විසින් භික්ෂු අංශය 1986 පෙබරවාරි මස භාර ගැනිමත් සමඟය. ඒ වන විටත් ඩී.එම්. ආනන්ද ජවිපෙ බස්නාහිර සහ සබරගමු පළාතේ දේශපාලන ලේකම්වරයා වූ අතර ශිෂ්‍ය, කාන්තා සහ භික්ෂු යන පෙරමුණු සංවිධානවලද නායකයා විය.

වාරියපොලදී 1954දී උපන් දිසානායක මුදියන්සෙලාගේ නන්දසේන නොහොත් ඩී.එම්. ආනන්ද එක් දරු පියෙකි. පේරාදෙණිය සරසවියේ 1980 ශ්‍රාස්ත්‍රවේදී උපාධිධාරියෙකු වූ ඔහු කලක් නාරද හිමි නමින් පැවිදිව සිටියේය. භික්ෂු අංශය තුළ ඔහුගේ කටයුතු සම්බන්ධීකරණය කළේ සංස්කෘතික අංශයේද ක්‍රියාකාරි නියමුවෙකු වූ උපාලි ගමගේ නොහොත් මහානාමය. පේරාදෙණිය සරසවියේ කලා පිඨ‍යේ ප්‍රේමානන්ද හිමි නමින් ශිෂ්‍ය භික්ෂුවකුව සිටි ඔහු පසුව උපැවිදිවී පූර්ණ කාලීනව ජවිපෙට එක්වී සිටි අයෙකි.

දෙවැනි කැරළි සමය වනවිට ජවිපෙ සංවිධාන ව්‍යූහය වූයේ නායක රෝහණ විජේවීර සහ දේශපාලන මණ්ඩලය වේ. දේශපාලන මණ්ඩලය මගින් සෘජුවම කේෂේත්‍ර අංශයේ ප්‍රචාරක, මුදල්, අධ්‍යාපන සහ සන්නද්ධ(දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය) යන අංශද පෙරමුණු අංශයේ කම්කරු, තරුණ, කාන්තා, ශිෂ්‍ය සහ භික්ෂු අංශයන්හිද වගකීම් දැරීය. මධ්‍යම කාරක සභාව යටතේ දිස්ත්‍රික්ක 19ක් ඌව/නැගෙනහිර, දකුණ, බස්නාහිර/සබරගමු, මධ්‍යම, උතුරු මැද කලාප අංශ, දේශපාලන මණ්ඩලයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක විය.

JVP_MONK (3)

ආණ්ඩුවේ නිල සහ නිල නොවන කණ්ඩායම් මගින් ඝාතනයට ලක්කල භික්ෂූන් 681 අතරින් දෙදෙනෙක්.(වමේ සිට) රන්සෑ‍ගොඩ ධම්මාලෝක හිමි සහ වලල්ලාවිට චන්ද්‍රසිරි හිමි.

ජවිපෙ භික්ෂුන් පක්ෂය තුළ සංවිධාන ගතව සිටියේ සමාජවාදි භික්ෂු සංගමය හරහාය. වසර 1971 කැරැල්ල වන විටද භික්ෂූන් සැලකිය යුතු පිරිසක් ආමන්ත්‍රණය කිරීමට ජවිපෙ සමත් විය. 1971 අප්‍රේල් කැරැල්ලේදී ඝාතනයට ලක්වූ භික්ෂූන් සංඛ්‍යාව 50ක ආසන්න වූ අතර අත්අඩංගුවට ගත් සංඛ්‍යාව සිය ගණනකි. සමාජවාදි භික්ෂු සංගමය ජාතික කමිටු, දිස්ත්‍රික් කමිටු සහ ආසන මට්ටමින් ක්‍රියාකාරකම් සිදුකල අතර 1987 වන විට එහි ක්‍රියාකාරිකයින් භික්ෂු සාමාජික සංඛ්‍යාව 525ක් පමණ විය. එහෙත් පොදුවේ රටපුරා ජවිපෙ හිතවාදි භික්ෂූන් 750කගේ පමණ සෘජු සහාය හිමිවූ අතර දහස් ගණන් භික්ෂූන්ගේ වක්‍රාකාර සහායද ජවිපෙට හිමිවිය. වසර 1983 පක්ෂ තහනමට පෙර ජවිපෙ මැයි පෙළපාලියට සමාජවාදී භික්ෂු සංවිධාන බැනරය යටතේ සහභාගිවූ භික්ෂූන් සංඛ්‍යාව 550ක් වේ.

වසර 1986 දෙසැම්බර් වන විට රජයේ සංඛ්‍යාලේඛන අනුව ශ්‍රී ලංකාවේ තිබූ පන්සල් සංඛ්‍යාව 8,582ක් වූ අතර එහි සිටි උපසම්පදා භික්ෂූන් සංඛ්‍යාව 14,681කි. එමෙන්ම සිටි සාමනේර හිමිවරුන් සංඛ්‍යාව 16,741කි. මෙම සියළු භික්ෂූන් වහන්සේලා 31,422 ශ්‍රී ලංකාවේ ප්‍රධානම නිකායන් 3ක් යටතේ පිහිටුවාගෙන ඇති පිළිගත් පාර්ශවයන් 32කට අයත් විය.

ජවිපෙ දෙවනි කැරළි සමය වනවිට සමාජවාදි භික්ෂු සංගමය රහසිගතව ක්‍රියාත්මකවූ අතර එය කුඩහපොල බලකාය මගින් බෞතිස්ම කර දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයට අනුගත කර තිබිණි. ජවිපෙ 1986 සිට 1989 මාර්තු දක්වා සිය භික්ෂූ ව්‍යාපාරයේ කටයුතු විවෘතව කරගෙන ගියේ 1983 ජවිපෙ තහනමින් පසු පිළියන්දල පුවක්දණ්ඩාව විහාරයේදී ආරම්භ වූ මානව හිතවාදී භික්ෂු සංගමය සහ 1985 මාර්තු 4 කැළණි සරසවියේදී ආරම්භවූ අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලය මගින් එම නාමයන් යටතේය.

JVP_MONK (4)

ජවිපෙ මගින් ඝාතනයට ලක්කල බුත්තල සුබසෙත් ගෙදර මයිකල් පෝල් රොඩිරිගූ පියතුමා සහ තිස්සමහාරාමයේ ලංකා දේව සභාවේ ලයනල් ජයසිංහ දේවගැතිතුමා.

දෙවන කැරැල්ලේ ක්‍රියාකාරිකයින් සමඟ සමීප සම්බන්ධකම් පැවැත්වීමේදී භික්ෂූන්ට විශේෂ උපක්‍රමශීලි සහ සංවිධානාත්මක වාසි රැසක් තිබිණි. සමාජයේ ජීවත්වූ උපාධිධාරි භික්ෂූන් එක්තරා ආකාරයෙන් වෘත්තීය බුද්ධිමතුන් පන්තියක් බවටද පත්වී සිටියහ. එම කාල වකවානුව තුළ සංස්කෘතික සහ මානව හිමිකම් සුරකීමේ කේ‍ෂේත්‍රයන්හිදී වැඩි බරක් ඇද්දේද ජවිපෙ භික්ෂූන් විසිනි. මානව හිතවාදි භික්ෂු සංවිධානය මගින් ප්‍රකාශිත විනිවිද මාසික සඟරාව 1987 සහ 1988 යන කාලයේ ජනප්‍රිය සඟරාවක් වූ අතර එක් සඟරාවකින් පිටපත් 62,000ක් අළෙවි වූ අවස්ථාවක්ද විය.

ජවිපෙ සමාජවාදී භික්ෂු සංගමයට 80 දශකයේ අග භාගයේදී නායකත්වය දුන්නේ අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු බලහරුවේ සෝම, දේශප්‍රේමි ශිෂ්‍ය ව්‍යාපාරයේ ලේකම් තාරපේරියේ රතනජෝති, මානව හිතවාදී භික්ෂු සංවිධානයේ එගොඩබැද්දේ ගුණසිරි, එක්සත් භික්ෂු සංගමයේ සභාපති තලකොලවැව චන්ද්‍රරත්න ඇතුළු හිමිවරුන් විසිනි. කැළණි සරසවියේ ශ්‍රාස්ත්‍ර පීඨයේ දෙවන වසර සිසුවෙකු වූ බලහරුවේ සෝම හිමි මාතර බලහරුවේ උපන්නෙකි. මාතර උපන් තාරපේරිය රතනජෝති හිමි කැළණිය සරසවියේ ශ්‍රාස්ත්‍ර පීඨයේ දෙවන වසරේ සිසුවෙකි. සමාජවාදී භික්ෂු සංගමයේ සෙසු නායකයින් වූයේ කොළඹ සරසවියේ මංගල හිමි, ආනන්ද හිමි, කැළණි සරසවියේ ශ්‍රාස්ත්‍ර පීඨයේ උඩුවෙල ධම්මජෝති ඇතුළු කිහිප දෙනෙකි. එහි ක්‍රියාකාරිකයින් කිහිප දෙනෙක්ම ආරක්ෂක හමුදා මගින් ඝාතනයට ලක්වූ අතර කඩුගන්නාවේ සීවිලි හිමි පොල්ගොල්ලේදීද, බදුල්ලේ ගුණසිරි හිමි බදුල්ලේද මරාදමා සිරුරු හමුවිය. සපුගොල්ලේ ඉන්ද්‍රවිමල හිමි කුරුණෑගලදී අත්අඩංගුවට ගෙන එහි අංක 5 පාරේ ලොකු පාලම අසළට ගෙනවිත් ඝාතනය කිරීමට සැරසෙද්දී ගඟට පැන දිවි බේරා ගැනිමට උන් වහන්සේ සමත් විය.

දෙවන කැරැල්ල අවසන් වීමට පෙර සමාජවාදී භික්ෂු සංගමයේ නායකයෙකු වන තලකොළවැව චන්ද්‍රරතන හිමි 1989 ඔක්තෝබර් මස රත්නපුරේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු රජයේ රූපවාහිනියේ පෙනි සිටිමින් රජයට බාරවන්නැයි සටන්කාමී භික්ෂුන්ගෙන් සහ සරසවි සිසුන්ගෙන් ඉල්ලා සිටියහ. පසුව උන් වහන්සේට ප්‍රේමදාස රජය මගින් අභයදානයෙන් අනතුරුව ජපානයට යෑමට සමත් විය. එහිදී උපැවිදි වූ ඔහු වර්තමානයේ දෙදරු පියෙකි. නිකවැරටියේ උපන් හෙතෙමගේ පියා ගොවියෙකු වූ අතර මව මියගිය පසු එම පිංකමටද ඔහු පැමිණියේය.

JVP_MONK (5)

මව්බිම සුරැකීමේ ව්‍යාපාරයේ අදිසි පැවිදි නායකයෙකු වු පිටුවල ධර්මකීර්ති හිමි නොහොත් ලෙනින් හාමුදුරුවෝ 1989 අගොස්තු 29වැනිදා ඝාතනය කිරීමෙන් පසු කම්පාවට පත් දායකයින්.

ජවිපෙ දෙවන කැරැලලේ පරාජයෙන් පසු සමාජවාදී භික්ෂු සංගමයේ ජාතික කමිටුවේ ඉතිරිවූ භික්ෂූන් වහන්සේලා 12 නමක් ගම්පහ යක්කල කෙහෙල්වතුගොඩ පන්සලේදී 1989 දෙසැම්බර් 26 සහ 27වැනිදා රැස්වූහ. ගම්පහ මූලස්ථාන පොලිස් පරික්ෂක ගාමිණී සිල්වාගේ නායකත්වයෙන් 1989 දෙසැම්බර් 27 රාත්‍රී 11ට කෙහෙල්වතුගොඩ පන්සලට පැමිණි කණ්ඩායමක් හිමිවරුන් 11ක් අත්අඩංගුවට ගත් අතර එක් හිමිනමක් පලා ගොස් අත්තනගලු ඔයට පැන දින දෙකක් ඔයේ සැඟව සිට 1989 දෙසැම්බර් 29වැනිදා උදෑසන වේයන්ගොඩ සහ ගම්පහ අතර දාරළුඔය දුම්රිය අසළ දුම්රියට පැන සියදිවි නසා ගැනීමට තැත්කිරීමේදී අවට ගම්වාසින් විසින් බේරාගෙන ගම්බිම් බලා ආරක්ෂිතව පිටත්කර යවන ලදී. හිමිවරුන් හතර දෙනෙක් හැර සෙසු හිමිවරුන් හත් දෙනෙක් නිදහස් කරන ලදී. අත්අඩංගුවට ගත් 4 දෙනා පසුව ඝාතනයට පත්වූ බව කියති.

පසුදින අත්අඩංගුවෙන් නිදහස් කල පිරිසට බලහරුවේ සෝම, එගොඩබැද්දේ ගුණසිරි සහ තාරපේරියේ රතනජෝති යන හිමිවරුන් අයත් විය. බලහරුවේ සෝම හිමි 1989 දෙසැම්බර් 29වැනිදා පස්වරු 2ට හොරොව්පතානේදී ලියුම්කරුට දැකගන්නට ලැබිණි. පසුව උපැවිදිවී ප්‍රංශයට ගිය අතර වර්තමානයේ තිදරු පියෙකි. කැළණි සරසවියේ සිටින 540ක් වූ සරසවි භික්ෂූන් වහන්සේලා භික්ෂු නේවාසිකාගාරයක් ඉල්ලා 1987 මාර්තු 4වැනිදා සරසවිය අල්ලා ගත් අතර ජයග්‍රාහීව නිමවූ සටනේ නායකත්වය දැරීම තුළින් බලහරුවේ සෝම හිමි ඉස්මතු විය. අන්තර් විශ්ව විද්‍යාලයේ භික්ෂු බල මණ්ඩලයේ ආරම්භයද එය විය.

තාරපේරියේ රතනජෝති හිමිද ජපානයට ගොස් උපැවිදිවී එහි වාසය කරයි. එගොඩබැද්දේ ගුණසිරි හිමි ලියුම්කරුට හදිසියේ හමුවූයේ හමු වූයේ 1990 ජනවාරි 23වැනිදා කටුනායක ගුවන් තොටුපලේ ගුවන් ගතවීමට නියමිතව තිබූ තායි ගුවන් සේවයට අයත් යානයකදීය. ලියුම්කරු තායිලන්තයට ගියේ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ සමුළුවකට සහභාගිවීම සඳහාය. අවසානයේ තමාගේ තාවකාලික නවාතැන තායිලන්තයේ සුලක් ශිවරාක්ෂගේ බැවින් හැකියාවක් ඇත්නම් එම ස්ථානය සොයා ගෙන එතනට ගෙනයන මෙන් ඉල්ලීමක්ද කළේය. ලියුම්කරු එය ඉටු කළේය. එගොඩබැද්දේ ගුණසිරි හිමියෝ පසුව උපැවිදිවී මුණසිංහ නමින් ඕස්ට්‍රේලියාවේ ජිවත්වන ඔහු දෙදරු පියෙකි.

JVP_MONK (6)

ජවිපෙ ඝාතනය කල පොහොද්දරමුල්ලේ පේමාලෝක හිමිගේ දේහය 1988 දෙසැම්බර් 21වැනිදා කළුතර නගර ශාලාවේදී තැම්පත් කර තිබියදී. ඒ අසළ සිටිනේනේ වාද්දුව කවුඩුදුව පන්සලේ විහාරවාසි බේරුවල සෝභිත සහ පියරතන හිමියන්ය.(වමේ) ලයනල් ජයසිංහ දේවගැතිතුමා ගේ සිරුර දෙබරවැව දේවස්ථානයේ මහජන ගෞරවය සඳහා තබා තිබියදී(දකුණේ)

ජවිපෙ භික්ෂු සංගමයේ ප්‍රබල ක්‍රියාකාරියෙකු වූ පිටුවල ධම්මකීර්ති හිමි ප්‍රචලිත වූයේ ලෙනින් හාමුදුරුවෝ නමිනි. අසූවේ ජුලි වර්ජනයෙන් රැකියාව අහිමි වූ උපාධිධාරියෙකු වූ උන් වහන්සේ 1989 අගෝස්තු 29වැනිදා කෑගල්ලේදී පැහැර ගෙන ගොස් තිරශ්චීන ලෙස ඝාතනයට ලක්විය. එහි තවත් ක්‍රියාකාරිකයෙකු වූ හික්කඩුවේ ගුණසිරි හිමි ජපුර සරසවියේ තෙවන වසරේ පැවිදි සිසුවෙකු මෙන්ම එහි භික්ෂු සංගමයේ සභාපතිවරයාය. අගලවත්ත ආසනයේ කෙට්ටියාගල කන්දේ වැඩවාසය කල ගුණසිරි හිමි පසුව මිරිහාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පැලවත්ත සහ බූස්ස කඳවුරේ රඳවා තබාගන්නා ලදී. උපැවිදි වීමෙන් පසු හික්කඩුවේ දසනායක නමින් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්ද වශයෙන් කටයුතු කල ඔහු වර්තමානයේ ගුරුවරයෙකි.

ආරක්ෂක අංශ ගෝතමී විහාරයට 1988 සැප්තැම්බර් 07වැනිදා පැමිණ මානව හිතවාදී භික්ෂු සංවිධානයට අයත් සියලු ලේඛන සහ බඩු බාහිර ආදිය අත්අඩංගුවට ගන්නා ලදි. එහිදී භික්ෂූන් 08 දෙනෙකුද අත්අඩංගුවට ගෙන දීර්ඝ ප්‍රශ්න කිරීම් වලින් පසු රජය මගින් නිදහස් කරන ලද්දේ බ්‍රිතාන්‍යයේ ඇමිනෙස්ටි ආයතනය ආරක්ෂක ඇමතිවරයාගෙන් එසැනින් කරන ලද ඉල්ලීමක් අනුවය. එකල කොළඹ නගරාධිපති රත්නසිරි රාජපක්ෂ එහිදී සියළු කටයුතු සම්බන්ධීකරණය කළේය. ජවිපෙ වෙනුවෙන් විනිවිද සඟරාව පලකලේ උඩුගොඩ සෝරත හිමි සහ එගොඩබැද්දේ ගුණසිරි හිමිය. එයට සහාය වූයේ ජයවර්ධනපුර සරසවියේ උපාධි අපේක්ෂකයෙකු වූ දික්වැල්ලේ සෝරත හිමි ඇතුළු කිහිප දෙනෙකි. චිත්‍ර ශිල්පියා බණ්ඩාරය. විනිවිද සඟරාවේ කලක් සම සංස්කාරකවරයා වූ කොන්ගස්දෙනියේ ආනන්ද හිමියන් භීෂණය හේතුවෙන් ප්‍රංශයට පිටුවහල් විය. එසේම මණ්ඩාවල පඤ්ඤාවංශ හිමියන්ද දැන් වැඩ වසනුයේ එක්සත් ජනපදයේය. භාතිගම්මන උත්තරානන්ද හිමි නිකවැරටියේ ගොඩනගන ලද වන අරමක අපිස් දිවියක් ගතකරමින් වර්තමානයේ වැඩ වසති.

JVP_MONK (7)

ජවිපෙ භික්ෂු අංශය භාරව සිටි දේශපාලන මණ්ඩල සභික ඩී.එම්. ආනන්ද, ඒවා සම්බන්ධීකරණය කල සංස්කෘතික අංශයේ උපාලි ගමගේ නොහොත් මහානාම, දේශප්‍රේමී ශිෂ්‍ය ව්‍යාපාරයේ ලේකම් තාරපේරියේ රතනජෝති හිමි සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු බලහරුවේ සෝම හිමි.(වමේ සිට) ආනන්ද සහ මහානාම උපැවිදිවී සිටි අයවූ අතර රතනජෝති සහ බලහරුවේ හිමිවරුන්ද කැරැල්ලේ පරාජයෙන් පසු උපැවිදිවී පලාගොස් ජපානයේ සහ ප්‍රංශයේ දේශපාලන රැකවරණ ලබා ගත්හ.

සමාජවාදී භික්ෂු සංගමයේ මධ්‍යම පුවත්පත වූයේ විමුක්ති මගය. එහි නාමික කර්තෘවරයා ධර්මකීර්ති හිමි වූ අතර අදිසි කර්තෘවරයා වූයේ මහාචාර්ය ඩබ්ලිව් එස්. කරුණාරත්නය. සංගමය ලෙසින් නිර්මාණය කල විමුක්ති බණද අතිශයින් ජනප්‍රිය විය.චක්‍රවර්ති සිහනාද සූත්‍රය, කූටදන්ත සූත්‍රය, අඥණ සූත්‍රය ඇසුරින් මෙම විමුක්ති ධර්ම බණ දේශනා සකස්වූ අතර ජවිපෙ මතවාදය ගෙන යෑම සඳහා භික්ෂු සංගමයේ සාමාජිකයින් බණ දේශනයන්හිදි එය උපක්‍රමශීලීව භාවිතයට ගත්තේය. පුහුණු වැඩමුළු පරගොඩ රජමහා විහාරය ඇතුළු ස්ථාන 7ක පැවැත්විණි. විමුක්ති බණ නිර්මාණය කිරීමේ වැඩි ගෞරවය හිමිවන්නේ ආචාර්ය විලේගොඩ අරියදේව හිමිටය. ජවිපෙට 1969 සම්බන්ධවූ ආචාර්ය අරියදේව හිමි 1983 පක්ෂ තහනම දක්වා ක්‍රියාකාරි විය. පසුව සමස්ත ලංකා ප්‍රගතිශීලී භික්ෂු පෙරමුණේ ලේකම් වශයෙන් බහුජන සංවිධාන සමඟ මෑතක් වනතුරු කටයුතු කළේය. එවැනි විමුක්ති බණකට එරෙහිව කෑගල්ලේ විහාරස්ථානයක දායක සභාවක් විසින් පොලිසියටද පැමිණිල්ලක් කොට තිබිණි.

දෙවන කැරැල්ලේදී එජාප ආණ්ඩුව මගින් දියත්කල තිරස්ථීන රාජ්‍ය මර්ධනය සහ ජවිපෙ පෞද්ගලික ත්‍රස්තවාදය හේතුවෙන් රට අවිචාරවත් යුගයක් බවට නැඹුරු වීම ඇරඹිණි. විජයබා කොල්ලය මෙන් දරුණු භීෂණයක් රටතුළ ක්‍රියාත්මක විණි. සැබෑ නීතිය වෙනුවට එජාප රජය මගින් කැලෑ නීතිය ක්‍රියාවට නැගිණි. ජවිපෙ බවට චෝදනා නඟමින් සමාජවාදී භික්ෂු සංගමයේ සාමාජිකයින් ඇතුළු රටපුරා ප්‍රගතිශීලි භික්ෂූන් දඩයම් කිරීම ඇරඹිණි. අත්අඩංගුවට ගත් භික්ෂූන්ගෙන් ඇතමෙකු ඝාතනයකර ටයර් සෑයවල්වල අවසන් ගමන් ගියහ. වධදීමේ ප්‍රචලිත වූ ධර්මචක්‍ර වධය භික්ෂූන් වෙනුවෙන්ම ක්‍රියාත්මක විණි. පවතින මර්ධන තත්ත්වයට මුහුණදීමට නොහැකිවීම නිසා ඇතැම් භික්ෂූන් උපැවිදි විය. බොහෝ භික්ෂූන් විවිධාකාර වධ හිංසාවන්ට ගොඳුරුවී ජීවිත පරිත්‍යාග කළහ.

JVP_MONK (8)

වධකාගාරවල භික්ෂූන්ට වධදීමේ ප්‍රචලිත ක්‍රමයක් වූ ධර්මචක්‍ර වධය සිතුවමට නඟා තිබුණේ මෙසේය.

ජවිපෙ මගින්ද සිදුකළේ භික්ෂුන් මගින් බුදුදහම හදාරා එහි ගැඹුර ප්‍රයෝජනයට ගැනීම නොවේ. පක්ෂයේ මතය ජනතාව අතරට ගෙනයෑමේ දේශපාලන උපක්‍රමයක් ලෙස භික්ෂූන් පාවිච්චි කිරීම පමණි. එහි බරපතල එල විපාක සමාජයට ගෙන ආවේය. සමාජවාදී භික්ෂු සංගමයේ සාමාජිකයින්ගේ අරමුණ නව සමාජයක් බිහිකිරීම වුවද ජවිපෙ සන්නද්ධ අංශයේ ක්‍රියාකාරකම් හේතුවෙන් ජවිපෙ දේශපාලන සම්ප්‍රදාය තුළ වැදගත්ම අංග ලක්ෂණයක් වූ පක්ෂ සංස්කෘතිය සහ ජීවන විලාසය එදා උඩු යටිකුරු විය.

අවසානයේ තමන්ට එරෙහිව පමණක් නොව එජාපයට සහ සෙසු වාමාංශික පක්ෂවලට සහාය දුන් භික්ෂූන්ද ඝාතනය කිරීමට ජවිපෙ කටයුතු කළේය. එසේ ජවිපෙ සන්නද්ධ අංශය වූ දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය මගින් දෙවැනි කැරළි සමයේදී එනම් 1986 සිට 1990 දක්වා එසේ ඝාතනය කරන ලද බෞද්ධ භික්ෂූන් සංඛ්‍යාව 41. කතෝලික පූජකවරුන් සංඛ්‍යාව 2කි. එජාප ආණ්ඩුවේ නිල සහ නිල නොවන සන්නද්ධ කණ්ඩායම් මගින් ඝාතනය කරන ලද බෞද්ධ භික්ෂූන්ගේ සංඛ්‍යාව 681කි. මේ අනුව ජවිපෙ දෙවැනි කැරළි සමයේදී ඝාතනයට ලක්වූ පූජකවරුන්ගේ සංඛ්‍යාව 724ක් වන අතර ඉන් 722ක් බෞද්ධ භික්ෂූන්ය.

JVP_MONK (9)

අත්අඩංගුවට ගත් භික්ෂූන්ට වධදුන් ආකාරය සිතුවමකට නඟා තිබූ අයුරු

ජවිපෙ මගින් ඝාතනයකල භික්ෂූන් 41 දෙනා අතර සිටි නායක හිමිවරුන් අතර කළුතර තොටමුණේ ප්‍රධාන සංඝනායක පොහොද්දරමුල්ලේ පේමාලෝක හිමි, ප්‍රකට ධර්ම කථික කොටිකාවත්තේ සද්ධාතිස්ස හිමි, මාතර වැල්තොට පඥ්ඥාදස්සි හිමි සහ මිද්දෙණියේ පුරාණ විහාරාධිපති බෙලිගල්ලේ මහින්ද හිමිද වෙති. පොහොද්දරමුල්ලේ පේමාලෝක හිමි ශ්‍රී ලංකා මහජන පක්ෂයේ පැවිදි අනුශාසක වූ අතර ජල බද්දට සහ වෙල්ලස්සේ ඉඩම් විදේශිකයින්ට පවරාදීමට එරෙහිව අරගල වල මුල්තැන ගෙන කටයුතු කල යතිවරයෙකි. ජයවර්ධනපුර සරසවියේ උපාධිධාරියෙකු වූ පේමාලෝක හිමි කළුතර මහා විද්‍යාලයේ ගුරුවරයෙකු වශයෙන් සිටියදී 1980 ජුලි වර්ජනයට එක්වීමෙන් රැකියාව අහිමි විය. ආචාර්ය එන්.එම්. පෙරේරා, කොල්වින් ආර්. ද සිල්වා සමඟ සමසමාජයෙන් දේශපාලනය ඇරඹූ උන් වහන්සේ 1982 ජනාධිපතිවරණයේදී ශ්‍රිලනිප අපේක්ෂක කොබ්බෑකඩුවගේ ප්‍රධාන කථිකයෙකු විය.

ඉන්දු ලංකා ගිවිසුමට පක්ෂ වූ අතර කොස්ගස් හන්දියේදී මහජන පක්ෂයේ රැළියකට ගැසූ බෝම්බ පහරකින් අනතුරකටද පත්විය. ප්‍රේමාලෝක හිමි 1988 දෙසැම්බර් 18 වැනිදා වාද්දුව තල්පිටිය සිටියදී රාත්‍රී 7.30ට පන්සලට පැමිණි කැරළිකරුවන් දෙදෙනෙකු විසින් බඩට සහ මුහුණට වෙඩිතබා පළා යන ලදී. එම අවස්ථාවේ විහාරයේ වස්කඩුවේ විමලජීව, පෝද්දරමුල්ලේ නන්දාලෝක සහ තල්පිටියේ විමලසාර යන හිමිරුන් වැඩසිටි අතර ඔවුන් විසින් රෝහලට ගෙන යන විටද උන් වහන්සේ අපවත්වී තිබිණි. ආදානය කළුතර නගර සභා ක්‍රීඩාංගනයේදී විශාල ජනකායක් මැද සිදුකල අතර දේහය මහජන ගෞරවය සඳහා කළුතර නගර ශාලාවේදී 1988 දෙසැම්බර් 21 තබා තිබිණි. මුහුණට වෙඩිතැබීම නිසා මුහුණ විරූපවී ඇති හෙයින් පේමාලෝක හිමිගේ දේහයේ උඩ කොටස සම්පූර්ණයෙන් වසා තිබිණි.

පනාගොඩ හමුදා කඳවුරේ බෝධිරාජ විහාරයේ දහම් පාසලේ ප්‍රධාන ආචාර්යවරයා වූ හබරකඩ ධර්මාශ්‍රාම විහාරාධිපති වල්අඹගම පඥ්ඥාසාර හිමියෝද ජවිපෙ මගින් 1988දී ඝාතනය කළේ හමුදා නිලධාරින්ගේ දරුවන්ට දහම් පාසැල නොපවත්වන ලෙසට කල ඉල්ලීම ඉටු නොකල බැවිනි. උන් වහන්සේගේ ආදාහන කටයුතුද තහනම් කල අතර දේහය තබා තිබුණේ පනාගොඩ ධර්ම ශාලාවේදීය. එදිනම හබරකඩ ප්‍රකට වෛද්‍යවරයෙකු වූ ආරියරත්නද ඝාතනය කර තිබිණි.

JVP_MONK (10)

ඝාතනයට ලක්වූවන්ගේ අවමගුල් පෙරහැරකදි භික්ෂූන් ගමන් කරමින්.

එකල දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය මගින් මරා දමන ලද අයගේ අවසන් කටයුතු කරන ආකාරය පිළිබදව විධාන පනවා තිබිණි. අවසන් කටයුතු උත්සවයකින් තොරව සිදුකල යුතු අතර ආගමික වතාවත් සඳහා සහභාගිකරගත හැකිවූයේ භික්ෂූන් වහන්සේලා උපරිම දෙකකි. දේහය ඔසවාගෙන යෑමේදී එය පොළවේ මට්ටමින් අඩියකට වඩා ඉහළට ඔසවා නොගත යුතුය. අවසාන කටයුතු සදහා සහභාගි විය හැකි උපරිම ගණන 10කි. මෙම නීති පිළිනොපදින අයට දැඩි දඬුවම් පැනවූ බවට වාර්තා විය.

ප්‍රකට ධර්ම කථිකයෙකු සහ එජාප හිතවාදී භික්ෂුවක්වූ කොටිකාවත්තේ සද්ධාතිස්ස හිමි ඝාතනය කරන ලද්දේ 1989 අගොස්තු 3 පන්සල තුළදීමය. මාතර වැල්තොට පඥ්ඥාදස්සි හිමි 1989 අගොස්තු 30වැනිදා ඝාතනය කරන ලද්දේ කිතලගමුව විහාරයේදීය. මිද්දෙණියේ පුරාණ විහාරාධිපති බෙලිගල්ලේ මහින්ද හිමි ඝාතනය කළේ 1989 මැයි 28වැනිදාය. මහින්ද හිමිගේ ඝාතනයට හේතුව වූයේ පළාත් සභා පනතට එරෙහි උද්ඝෝෂණ ව්‍යාපාරයකදී එයට පැමිණ සෙත් පිරිත් කියන ලෙසට කරන ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි. කුරුණෑගල ගොවි අරගල වලට ක්‍රියාකාරිව දායකවූ රෑද්දගොඩ සරණංකර හිමිද ඝාතනය විය.

Sri Lanka. Monk seated on the ground surrounded by tear gas. Pettah bus stand, Colombo, 28th July 1987. Protest at the signing of the Indo Lanka Peace Accord between India and Sri Lanka.

කොටුව බෝගහ අසළදී 20,000කගේ සහභාගිත්වයෙන් 1987 ජුලි 28වැනිදා පැවති විරෝධතා අවසානයේදී ප්‍රහාර හමුවේ නොසැලී සිටි එකම තැනැත්තා වූ කෑගල්ලේ විමල සාමණේර හිමි.

ජවිපෙ විසින් ඝාතනය කල භික්ෂූන් අතර පහත හිමිවරුන්ද විය. ඒ අනුව මිහින්තලය විහාරයේ කුඹගොඩ ඥාණාලෝක හිමි 1987 ජුලි 11, මාරඹේ සෝමරතන හිමි 1988 දෙසැම්බර් 31, අඟුනකොලපැලැස්සේ උපාලි හිමි 1989 ජනවාරි 7, පල්ලම විහාරයේ හේමාලෝක නන්දිමිත්‍ර හිමි 1989 අගොස්තු 04, අතුරුගිරිය විහාරයේ ව. පඥ්ඥාතිස්ස හිමි 1989 අගොස්තු 13, රජමහවිහාරවාසී සොරගුණේ පඥ්ඥාසාර හිමි 1989 අගොස්තු 20, කිරවනාගම පඥ්ඥාරාම හිමි1989 අගොස්තු 27,ජයසුමනාරමයේ පැල්පොල ධර්මපාල හිමි 1989 සැප්තැම්බර් 04, ශ්‍රී සුදර්ශනාරාමයේ මුදිත හිමි 1989 සැප්තැම්බර් 05, බෝධිරාජාරාමයේ කහව විමලසිරි හිමි 1989 සැප්තැම්බර් 09, මඹරගල විහාරයේ මහනුවර ධර්මරක්ඛිත හිමි 1989 සැප්තැම්ර් 18දා ඝාතනයට ලක්වූහ.

එමෙන්ම මාවෙලගම රජමහා විහාරයේ ගෝවුන්නේ රතනජෝති හිමි 1989 සැප්තැම්බර් 20, තිරාණගම රතනසාර හිමි 1989 සැප්තැම්බර් 29, තාඹුගල ආනන්දසිරි හිමි 1989 ඔක්තෝබර් 13, ශ්‍රී ඛෙත්තාරාම විහාරයේ දික්පිටියේ අංගීරස හිමි 1989 ඔක්තෝබර් 05, කළුතර ධම්මරතන හිමි 1989 ඔක්තෝබර් 12, දංගොල්ල විහාරයේ හොරඹාව විමලකීර්ති හිමි 1989 ඔක්තෝබර් 20, දෙලිවල විහාරයේ නිකපිටියේ සිද්ධාර්ථ හිමි 1989 ඔක්තෝබර් 30, මංගලගම පිරිවණේ මොලගොඩ ඩී. ගුණවංශ හිමි 1989 නොවැම්බර් 05, වියනෙලිය විහාරයේ වැලිපිටියේ පඤ්ඤාතිස්ස හිමි, 1989 නොවැම්බර් 29, මෙද්පිටිය විහාරයේ බමුණුපොත සෝමරතන හිමි, 1989 දෙසැම්බර් 10, වැවුළුකන්නල විහාරයේ පඤ්ඤානන්ද හිමි 1989 දෙසැම්බර් 11,කුළුඹුලන්ද විහාරයේ අඹේවල චන්ද්‍රජෝති හිමි 1989 දෙසැම්බර් 12, උභයාරාමයේ රැකව පඤ්ඤාසිද්ධි හිමි 1989 දෙසැම්බර් 16 යන දිනයේදීද ජවිපෙ අතින් ඝාතනයට ලක්වී තිබිණි.

JVP_MONK (12)

දෙවන කැරැල්ලේ පරාජයෙන් පසු අතුරුදහන්වූ සහ ඝාතනයට ලක්වූ භික්ෂූන් පිළිබදව ආචාර්ය විලේගොඩ අරි‍යදේව හිමි කැළණි සරසවියේ භික්ෂු ක්‍රියාකාරිකයින් සමඟ 1990 අවසානයේදී සාකච්ඡාවක නිරත වෙමින්.

ජවිපෙ මගින් ඝාතනයට ලක්වූ ක්‍රිස්තියානු පූජකවරුන් සංඛ්‍යාව 2කි. ඒ කතරගම බුත්තල අළුකාවිල සුබසෙත් ගෙදර මයිකල් පෝල් රොඩ්රිගූ පියතුමා 1987 නොවැම්බර් 10වැනිදා රාත්‍රී 7.30‍ට ඝාතනයට ලක්වු අතර එයට හේතුව වූයේ දෙමළ බෙදුම්වාදයට සහාය ලබාදෙන බවට චෝදනා ලත් කණ්ඩායම් සමඟ එක්ව කටයුතු කිරීමය. බුත්තල මයිකල් පියතුමාගේ වගකීම දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයේ වෙඩිහඬ පුවත්පත මගින් 1988 පෙබරවාරි භාරගෙන තිබිණි. කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වූ මයිකල් පියතුමා බුත්තල ප්‍රදේශයේ ළමා අධ්‍යාපනය නැංවීමෙහිලාද, ගොවීන් අතරද වැඩ කිරීම පිළිබදව ප්‍රචලිතව සිටි අයෙකි. විශේෂයෙන් කුරුණෑගල සිට ක්‍රියාත්මකවූ ජනතා සංගමයේ වැඩසටහන් සමඟ මයිකල් පියතුමා වැඩකල බවට චෝදනාවක් විය.

තිස්සමහාරාමයේ ලංකා දේව සභාවේ පී ලයනල් ජයසිංහ දේවගැතිතුමා ජවිපෙ මගින් ඝාතනය කරන ලද්දේ 1988 මාර්තු 25වැනිදා රාත්‍රි 8.45ටය. දේවගැතිතුමාගේ බිරිඳ ලලානි වූ අතර පුතා ශමිල් එම්මානුවෙල්ට එම සිද්ධිය වන විට වයස මාස 11කි. කතෝලික සභාව යටතේ ලංකා දේව සභාව 1914 ශ්‍රී ලංකාවේ ඇරඹූ අතර එම සභාවන් 502ක් රටපුරා ස්ථාපිත කර ඇත. එම සභාව ප්‍රචලිත කිරීමේ පුරෝගාමියෙක් වන්නේ බෝල්ටන් වික්‍රමරත්නය. තිස්සමහාරාමයේ කතෝලික දේව සභාවට පුද්ගලයින් 1,500ක් සම්බන්ධවී සිටින අතර හම්බන්තොට දිස්ත්‍රික්කය පුරා එහි අනුගාමිකයින් සංඛ්‍යාව 5,000කට ආසන්නය.

තිස්සමහාරාමයේ සේදවත්ත ගමට 1980දී ජයසිංහ දේවගැතිතුමා පැමිණි අතර ඔහු අවට ගම්වාසින් සමඟ ප්‍රජා කටයුතු ගණනාවක නිරත විය. කැරළිකරුවන් විසින් නිවසට පැමිණ දොර විවෘත කරගෙන වෙඩිතැබු අතර එම වෙඩි පහර කාගෙන කාමරයට දුවවිත් වාඩිවී තිබිණි. එහිදී යළි පැමිණි ඝාතකයින් දෙදෙනා පිහියකින් පපුවට ඇන මුහුණට වෙඩිතබන ලදී. තිස්සමහාරාම රෝහලට ගෙනයන විටත් දේවගැති ජයසිංහ මියගොස් තිබිණි. ඔහුගේ දේහය තිස්සමහාරාම පොදු සුසාන භූමියේදී 1988 මාර්තු 28වැනිදා භූමදානය කෙ‍රිණි.

JVP_MONK (13)

අධ්‍යාත්මික මඟ පෙන්වීමක් ඇති දේශියත්වය මත පදනම්වූ දේශපාලන ව්‍යාපාරයක අවශ්‍යතාවය පිළිබදව 1991දී පේරාදෙණිය සරසවියේදී පැවැත්වූ සාකච්ඡාවකින් පසු සරසවි භික්ෂූ නායකයින් ‍.(වමේ සිට) පේරාදෙණියේ අතුරලියේ රතන හිමි, 71 කැරැල්ලේ බදුල්ලේ උපනායකයෙකුව සිටි පේරාදෙණිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අම්බලන්ගොඩ ජයන්ත ජයමුණි සහ කැළණියේ කළුපහන පියරතන හිමි.

ජවිපෙ මගින් 1989 පෙබරවාරි 9වැනිදා මහනුවර ශ්‍රී දළඳා මාලිගයේ පොලිස් මුරපොලට ප්‍රහාරයක් එල්ලකර ආයුධ කිහිපයක් පැහැරගත් අතර කැරළිකරුන් 2 මරණයට පත්විය. සිවිල් වැසියන් තිදෙනෙකුට බරපතල තුවාල සිදුවිය. එම ප්‍රහාරයට මාතලේ ගංගා, නදීකා, මංගලිකා, ලිලන්ති සහ වීරසිංහ යන කාන්තාවන් 5 දෙනා ඇතුළු සාමාජිකයින් 11 දෙනෙකු සහභාගි වූහ. එම ප්‍රහාරය සැලසුම් කළේ ජවිපෙ මධ්‍යම කාරක සභික උපාලි ජයවීර නොහොත් මානෙල් මහත්තයා විසිනි. ප්‍රහාරයට සහභාගිවූ කිහිප දෙනෙකු පසුව අත්අඩංගුවට ගත් අතර ඉන් දෙදෙනෙකු අවි පුහුණුව ලබා තිබුණේ මාතලේ මීමුරේ වනගත කඳවුරකය.

බහුජනයා තුළ ආගමික ශ්‍රද්ධාව පවතින තාක්කල් ඔවුන් කෙරේවන භික්ෂූන් ඇතුළු පූජකයින්ගේ බලපෑම නොවැලැක්විය හැකිය. භික්ෂූන් ජනතාව සමඟ සමීප සම්බන්ධතා පවත්වන තාක්කල් දේශපාලන සහ සමාජ ව්‍යාපාරවලට ඔවුන් ඇදී ඒමද නොවැලැක්විය හැකිය. ජවිපෙ දෙවැනි කැරැල්ල අවසානයේදී ප්‍රථමයෙන් ආණ්ඩුවට හිතැති භික්ෂූන් ජවිපෙ පෞද්ගලික ත්‍රස්තවාදයට ගොදුරුවූ අතර අවසානයේ එය ජවිපෙට හිතැති භික්ෂූන්ට පමණක් නොව ප්‍රගතිශීලි ව්‍යාපාරයේ නිරතවූ සෙසු භික්ෂුන්ටද පාරාවලල්ලක් වී ප්‍රේමදාස ආණ්ඩුවේ නිල සහ නිල නොවන සන්නද්ධ කණ්ඩායම් හමුවේ ජීවිත වලින් වන්දි ගෙවීමට සිදුවූ මහා ඛේදවාචකයක් බවට පත්විය.

ධර්මන් වික්‍රමරත්න විසිනි.

(The writer is a senior journalist who could be reached at ejournalists@gmail.com)

Sri Lanka. Monk seated on the ground surrounded by tear gas. Pettah bus stand, Colombo, 28th July 1987. Protest at the signing of the Indo Lanka Peace Accord between India and Sri Lanka.

Sri Lanka. Monk seated on the ground surrounded by tear gas. Pettah bus stand, Colombo, 28th July 1987. Protest at the signing of the Indo Lanka Peace Accord between India and Sri Lanka.

JVP_MONK (6)

Copyright © 2017 LNW TODAYThemetf

To Top