LNW SPY

ජූනි 20 මැතිවරණය පැවැත්වීමට එරෙහි නඩුවලදී වත්මන් අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලට අභියෝගයක්!

Published on: May 17, 2020 – ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරුවීමට ඇති හැකියාව සීමාකිරීමට ජනමතවිචාරණයක් පැවැත්විය යුතු බවට නියම කළ 2002දී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු 7කගේ ඒකමතික තීරණය, 2015දී කථානායකවරයා උල්ලංඝනය කිරීම, ජූනි 20 මැතිවරණය පැවැත්වීමට එරෙහි නඩුවලදී වත්මන් අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල සළකා බලයිද?

1 වන වරට 19ය 2002දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම

19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත 2002 සැප්තැම්බර් මස 19 වන දින ව්‍යාපාර සංවර්ධන, කර්මාන්ත ප‍්‍රතිපත්ති හා ආයෝජන ප‍්‍රවර්ධන සහ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කටයුතු අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ අතර 2002 සැප්තැම්බර් මස 11 වන දින ගැසට් පත‍්‍රයේ පළ කර ඇත.

2002 වර්ෂයේ ගෙන එනු ලැබූ එම 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනිය යන පදනමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක්කරන ලද අතර සරත් නන්ද සිල්වා (අ.වි), වඩුගොඩුපිටිය (වි), බණ්ඩාරනායක (වි) ඉස්මයිල් (වි) එදිරිසූරිය (වි) සහ යාපා (වි) ද සිල්වා (වි) විසින් 2002 ඔක්තෝබර් 1 සහ 3 යන දිනවල ඒ සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගන්නා ලදී.

වර්ෂ 2002 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ එකී 19වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ 5 වන වගන්තිය අනුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවට ඉක්බිතිව 70 (අ) ලෙස ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරමින් වසරකට පසු පාර්ලිමේන්තුව විසිරවීම ජනාධිපතිට සීමා කිරීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 3 වන ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බවත් එය නීතියක් වන්නේ ජනමත විචාරණයක් මගින් ජනතාව විසින්ද අනුමැතිය දීමෙන් පසුව බව අගවිනිසුරු ප‍්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරු 7 දෙනකු විසින් තීරණය කර තිබූ අතර ඒ හේතුවෙන් එකී 19යේ ඉදිරි කටයුතු එතනින් නතර විය.

2 වන වරටත් 19ය 2015දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම.

අග‍්‍රාමාත්‍යතුමා සහ ප‍්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගේ නියමය පරිදි 2015 මාර්තු මස 13 වන දින ගැසට් පත‍්‍රයේ 11 වන කොටස අතිරේකය (2015.03.16 දින නිකුත් කරන ලද) 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ 19 වගන්තිය මගින් පාර්ලිමේන්තුව විසිරවීමට අදාළ ජනාධිපතිවරයා සීමා කරන විධිවිධානද දැක්වේ.

2015 දී ගෙනා 19වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නීතියක් බවට පත් කිරීමට පෙර එනම් 2002 දී ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් 7 දෙනකු විසින්, එදා (2002) ගෙනා 19ය සම්බන්ධයෙන් තීරණය කළ පරිදි පාර්ලිමේන්තුව විසිරුවීමෙන් ජනාධිපති වළක්වන විධිවිධානය නීතියක් බවට පත් කිරීමට ජනතාවගේ මතය විමසන ජනමත විචාරණයක් පැවැත්වීමට අවශ්‍යතාවය පූර්ණය කළ යුතු වුවත්, මේ වනතෙක් එසේ කටයුතු කර නැති නමුත් 2002දී ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරු 7දෙනෙකු ලබා දුන් ඒකමතික තීරණයට පටහැනිව ජනමතවිචාරණයකට නොගොස් 2015 දී ගෙන එනු ලැබූ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කුමන්ත්‍රණකාරී ලෙස නීතියක් ලෙස බලහත්කාරයෙන් පවත්වාගෙන යයි.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් 2018 නොවැම්බර් මස 09 වැනි දින අංක 2096/70 දරන අතිවිශේෂ ගැසට් පත‍්‍රය මගින් පාර්ලිමේන්තුව විසුරුවීමට අදාළව නිකුත් කළ

ගැසට් නිවේදනය අවලංගු කරමින් 2018.12.13 දින ශ්‍රේෂ්ඨාධිකරණය මූලික අයිතිවාසිකම් නඩුවකින් නලීන් පෙරේරා (අ.වි) බුවනෙක අලූවිහාර (වි), සිසිර ආබෲ(වි) ප‍්‍රියන්ත ජයවර්ධන (වි), විජිත මලල්ගොඩ(වි), ප‍්‍රසන්න ජයවර්ධන (වි) සහ මෘදු ප‍්‍රනාන්දු (වි) විසින් ලබා දුන් තීන්දුවේදී පවා ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසරුවීමට ඇති හැකියාව සීමාකිරීමට ජනමතවිචාරණයක් පැවැත්විය යුතු බවට, සම්බන්ධයෙන් 2002දී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු 7කගේ ඒකමතික තීරණය සළකා බලා නැති බව 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය තවමත් පනත් කෙටුම්පතක් පමණක් බවට සමාජයේ කතිකාවක් ඇති කරන ලේඛකයන්ගේ සහ විද්වතුන්ගේ අදහසයි.

එවන් තත්ත්වයක් තුළ (2002 දී ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට පටහැනිව කථානායකවරයා සහතිකය යෙදූ) 19යට අදාලව ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් මූලික අයිතිවාසිකම් නඩු කිහිපයක් මැතිවරණ කොමිසම විසින් 2020 ජුනි 20 පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට තීරණය කිරීමට එරෙහිව ගොනු වී ඇත.

එකී පෙත්සම්වල පසුබිම

2020 මාර්තු 02 දින ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරි අතර අප්‍රේල් 25 දින මහමැතිවරණය පැවැත්වීමට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව මැතිවරණ කොමිෂන් සභාව විසින් නාමයෝජනාද බාරගෙන තිබුණි.

(නීති විරෝධී 19ය යටතේ පාර්ලිමේන්තුව විසුරුවීම සම්බන්ධයෙන් විරෝධය දක්වා මෙම ලියුම්කරු විසින් ජනාධිපතිවරයාට සිය විරෝධය දක්වා ඇත)

පසුව ඇති වූ විශේෂ තත්ත්වය මත මැතිවරණ කොමිසම විසින් මහමැතිවරණය 2020 ජූනි 20 දින පැවැත්වීමට ගැසට් පත්‍රයක් මගින් නිවේදනය කළ අතර පාර්ලිමේන්තුව විසුරුවා හැරි දිනයේ සිට මාස තුනක් නොඉක්මවීමට පෙර නව පාර්ලිමේන්තුව රැස්විය යුතු බවට වන අවශ්‍යතාවය ඒ අනුව සපුරාලිය නොහැකි තත්වය උද්ගතවී ඇති පදනමින් මෙම පෙත්සම් ගොනු කර ඇත.

මෙම පෙත්සම් සළකා බැලීම සදහා අග විනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින් පංච පුද්ගල විනිසුර මඩුල්ලක් මේ වන විටත් පත්කර ඇති අතර මැයි 18 සහ 19 දිනවල ඒ සදහා නියම කර ඇත.

පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සංයුතිය සහ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා 2018 පාර්ලිමේන්තුව විසිරුවීම අදාල නඩුවෙ විනිසුරු 7දෙනාගේ සංයුතියේ වැදගත්කම.

මැතිවරණ කොමිසම විසින් 2020 ජුනි 20 පාර්ලිමේන්තුව මැතිවරණය පැවැත්වීමට තීරණය කිරීමට එරෙහිව ගොනු වී ඇති පෙත්සම් විභාගය සදහා අග විනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ(වි)

සිර ආබෲ(වි), ප්‍රියන්ත ජයවර්ධන(වි) විජිත් මලල්ගොඩ (වි) සමන්විතවන අතර, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා 2018 පාර්ලිමේන්තුව විසිරුවීම අදාල නඩුවෙ විනිසුරු 7දෙනාගේ සංයුතියට නලීන් පෙරේරා (අ.වි) බුවනෙක අලූවිහාර (වි), සිසිර ආබෲ(වි) ප‍්‍රියන්ත ජයවර්ධන (වි), විජිත මලල්ගොඩ(වි), ප‍්‍රසන්න ජයවර්ධන (වි) සහ මෘදු ප‍්‍රනාන්දු (වි) ඇතුලත් විය.

මෙම විනිසුරු සංයුතීන් දෙස සැළකිල්ලෙන් බැලීමේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා 2018 පාර්ලිමේන්තුව විසිරුවීම අදාල නඩුවේ ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිපතිවරයා අද අගවිනිසුරුවරයා වීමත්, එදා තමන්ගේ නීති තර්ක පිළිනොගත් විනිසුරුවරු 4දෙනෙකු සමග 2020 මැයි 18 සහ 19 දිනවල, මැතිවරණ කොමිසම විසින් 2020 ජුනි 20 පාර්ලිමේන්තුව මැතිවරණය පැවැත්වීමට තීරණය කිරීමට එරෙහිව ගොනු වී ඇති පෙත්සම් සළකා බැලීම සදහා පංච පුද්ගල විනිසුරු සංයුතිය සකස් වීමත් සුවිශේෂ වෙයි.

නීතියේ ස්වභාවය සහ ධූරවල ස්වභාවය මෙය වුවත්, 2002දී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු 7කගේ ඒකමතික තීරණය උල්ලංඝනය කරමින් 2015 දී 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයට කථානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 සහ 80 ව්‍යවස්ථාවලට පටහැනිව සහතිකය යෙදීම සම්බන්ධයෙන් වන නීතිමය තත්ත්වය මෙම පංච පුද්ගල විනිසුරු නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විසදන්නේද? එසේ විසදෙන්නේනම් මෙම නඩුවේ විනිශ්චය සහ විශේෂයෙන් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා මේ සම්බන්ධයෙන් දක්වන විනිශ්චය ජනතාවට ඉතා වැදගත් වන බවත් මෙම ලියුම්කරුගේ අදහසයි.

පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ විනිශ්චය ජනතාවට ඉතා වැදගත් වන බව.

මැතිවරණ කොමිසම විසින් මහමැතිවරණය 2020 ජූනි 20 දින පැවැත්වීමට එරෙහි නඩුවල විනිශ්චය කවර ස්වාභාවයක් ගත්තද, එය ඉතා වැදගත් වන්නේ ඉහත කාරණා මත පමණක් නොවේ.

පංච පුද්ගල විනිසුරු මඩුල්ල මෙම පෙත්සම් පිළිගෙන ක්‍රියා කරමින් ජූනි 20 පවත්වන මැතිවරණය අවලංගු කළහොත් එනයින්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් මාර්තු 02 දිනැතිව පාර්ලිමේන්තුව විසුරුවන ලද ගැසට්ටුවත් අවලංගු වෙනවද? යන්න නීතිමය ලෙස දැනගැනීම ජනතාවට ඉතා වැදගත් වේ.

මන්ද යත් වසර 4 1/2ක් ගෙවීයන තෙක් පාර්ලිමේන්තුව විසුරුවිය නොහැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය 2018.12.13 දින මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා 2018 දී පාර්ලිමේන්තුව විසිරුවීම අදාල නඩුවේ විනිශ්චය කර ඇති හෙයින් (2002 දී ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට පටහැනිව කථානායකවරයා සහතිකය යෙදීම සළකා නොබලා) එකී විනිශ්චයෙන් වර්තමාන ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තුව විසුරුවීම වෙනස්වන්නේ කෙසේද? යන්නත් පිළිබද ලැබෙන අර්ථනිරූපණයත් වැදගත් වේ.

එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල විසින් මැතිවරණ කොමිසම විසින් මහමැතිවරණය 2020 ජූනි 20 දින පැවැත්වීමට එරෙහි නඩුවලද විනිශ්චයේදී,

1. 2002 දී ගෙනා 19යට දුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු 7දෙනාගේ ඒකමතික තීරණය,

2. 2015 දී ගෙනා 19යට දුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු 3 දෙනාගෙ තීරණය

3. 2018 දී මෛත්‍රීපාල ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරවීම අවලංගු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු 7 දෙනාගේ තීන්දුව

සහ ඉදිරිපත් කරන වෙනත් නීති සැළකිල්ලට ලක් කරමින් සිය විනිශ්චය ලබා දෙනු ඇත.

ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරවීමට ඇති හැකියාව සීමාකිරීම සම්බන්ධයෙන් 2002දී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු 7කගේ ඒකමතික තීරණය සහ එහි දැක්වෙන ජනමත විචාරණයේ අවශ්‍යතාව සහ එකී ජනමත විචාරණය මේ දක්වා නොපැවැත්වීම සම්බන්ධයෙන් අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල සළකා බලයිද? යන්න කීමට තවම අවස්ථාව නොවුණත් එකී විනිශ්චය අධ්‍යනය කිරීමෙන් පසු එකී විනිශ්චයේ බලපෑම සම්බන්ධයෙන් කතිකාවක් ඇති කළ හැකිය.

මැතිවරණ කොමිසම විසින් මහමැතිවරණය 2020 ජූනි 20 දින පැවැත්වීමට එරෙහි නඩුවල පංච පුද්ගල විනිශ්චය බහුතර ජනතාවට කියවිය හැකි සිංහල භාෂාවෙන් ජනතාවට සන්නිවේදන කිරීමට විධායකය විසින් කටයුතු කිරීම නෛතික බලවන්ත සමාජයක් බිහි කිරීමටත්, විනය ගරුක සමාජයක් සදහා දිරි දීමක් මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමක්ද වෙයි. ඒ වෙනුවෙන් විධායකය පෙළඹවීම නීතිය අගයන පුරවැසියන්ගේ වගකීම වෙයි.

(2020.05.16)

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන

B.Sc(Col), PGDC(Col)


Copyright © 2017 LNW TODAYThemetf

To Top