Anonymous Reporter

දිලිත්ට අං එයි… රැඟුම් පාලක මණ්ඩලය දෙරණද? “හෝ ගානා පොකුණ” චිත්‍රපටය විකෘති කර පෙන්නලා… අවසර නැතුව චිත්‍රපටයේ කොටස් කපලා…

Published on: Mar 30, 2020- අද(29) දෙරණ නාලිකාව හරහා විකාශය කල “හෝ ගානා පොකුණ” චිත්‍රපටයේ කොටසක් තමන්ට අවශ්‍ය වන පරිදි කපා සංස්කරණය කිරිමට දිලිත්ගේ දෙරණ නාලිකාව කටයුතු කර තිබේන බව චිත්‍රපටයේ අධ්‍යක්ෂක ඉන්දික ෆර්ඩිනැන්ඩු මහතා(Indika Ferdinando) සිය Facebook පිටුවේ සටහනක් තබමින් සදහන් කර තිබේ. චිත්‍රපටයේ රචකයා/අධ්‍යක්ෂවරයා හෝ වෙනත් කිසිදු අයකුගෙ අවසරයක් නොමැතිව එම විකෘතිය (සංස්කරණය) සිදුකර තිබේන බවයි ඔහුගේ සටහනේ දැක්වෙන්නෙ.

පහත දැක්වෙන්නේ “හෝ ගානා පොකුණ” චිත්‍රපටයේ අධ්‍යක්ෂක ඉන්දික ෆර්ඩිනැන්ඩු මහතා තැබු සටහනයි…

ඔබ බැලුවේ සම්පුර්ණ “හෝ ගානා පොකුණ” නෙවෙයි

අද “හෝ ගානා පොකුණ” දෙරණ නාලිකාවේ විකාශය වෙන බව කිහිපදෙනෙක් දුරකථනෙන් අමතල කිව්වා. ඒ වගේම එහි කොටසක් කපා දමා ඇති බව කියන්න චිත්‍රපටයේ ශබ්ද සැලසුම්කරණ ශිල්පියා, සසික කතාකළා. කපා දැමූ තැන පිරික්සන්න මම rewind කරල බැලුවා. බැලින්නම් ඇත්ත. ජස්ටින්ගේ බිරිඳ බුදුන් වහන්සේ පිලිබඳ කියන සංවාදය අතර මැදින් ඉතා අශෝභන විදිහට කපා දමා තිබුණා.

ඇය කියන සම්පූර්ණ සංවාදය මෙසේයි:

“අපි දන්නැති දේවල් කොච්චරක් නං තියෙනවද? එක දවසක් බුදුන්නාන්සේගෙන් මේ බමුණෙක් දෝ කොහෙදෝ ඇහුවලු උන්නාන්සෙ දන්නැත්තෙ මොනවද කියල. උන්නාන්සේ බිමට නැමිලා නිය පිටට පස් ඩිංගිත්තක් අරන් කිව්වලු මං මේ ලෝකෙ ගැන දන්නෙ මේං මෙච්චරයි කියල”

මේ අවසන් වාක්‍යය තමයි කපා දමා තිබුණෙ. ඒකට හේතු වෙන්න ඇත්තෙ චිත්‍රපටය ලංකාවේ ප්‍රදර්ශනය වෙච්ච අන්තිම මාසෙදි වගේ, මේ වාක්‍යය මත පදනම් ව, මේක බුදුන්ගේ සර්වඥතා ඥානයට ගරහන චිත්‍රපටයක් ලෙස ඇතැමුන් මතු කළ විරෝධය. ඒ කාලෙ මම හිටියෙ ඔස්ට්‍රේලියාවෙ මගේ අචාර්ය උපාධි පර්යේෂණ කටයුතුවල නියැලෙමින්. කොහොම හරි විරෝධය කොච්චර බරපතලද කියල මට තේරුනේ පුද්ගලයින් දෙන්නෙක් විතර මට ෆේස්බුක් ඔස්සේ මරණ තර්ජනය කර කෙටි පණිවුඩ එව්වට පස්සෙ. කොහොමහරි සමාජ මාධ්‍ය ඔස්සේ විතරක් නෙවෙයි විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ඔස්සේත් මේ විරෝධය නැගුනා. මට ලොකු කලකිරීමකුත් ඇතිවුණා බලපෑම් කණ්ඩායම් විදිහට පෙනීහිටින ජාතිවාදී සංවිධාන සහ පුද්ගලයින් විතරක් නෙවෙයි, විශ්වවිද්‍යාලවල මහාචාර්ය තනතුරු දරන ඇතැම් අයත් බොහොම විශ්වාසයෙන් මට එරෙහිව පෙනීසිටියා.

ඒ වෙලාවේ පාලිත ඉද්දමල්ගොඩ ඇතුළු හිතවතුන් කිහිපදෙනෙක් ඇරෙන්න වැඩිය කවුරුවත් මං වෙනුවෙන් පෙනී හිටියෙ නැහැ.කලාවේ ප්‍රකාශන නිදහස/අයිතිය ගැන උනන්දු අයවත්. සමහරවිට කොළඹ කේන්ද්‍රීය මොකක් හරි සාහිත්‍ය-කලා-විචාර-සංවාද මිතුරු කවයක සාමාජිකයෙක් නොවුනාමත් එහෙම තනි වෙනවා. කොහොමටත් මමත් ඒකට පිළිතුරු දුන්නෙ සීමාසහිත විදිහට, වඩා වැදගත් අධ්‍යාපන කටයුත්තක මම යෙදිල හිටපු නිසා.

හැබැයි ඒ කාලෙ රැඟුම් පාලක මණ්ඩලයවත්, වෙන කවුරුවත් චිත්‍රපටය වාරණය කරන්න හදිස්සි උනේ නැහැ. දැන්”හෝ ගානා පොකුණ” චිත්‍රපටය නිල නොවන වාරණයකට ලක්ව ඇති නිසා මට කාරණා කිහිපයක් ලියා තබන්න හිතුනා:

1. රචකයා/අධ්‍යක්ෂවරයාගෙන් අහන්නෙ නැතුව ඒ විදිහට අත්තනෝමතික ව චිත්‍රපට edit කරන්න (ප්‍රකාශනය විකෘති කරන්න) තමන්ට නෛතික හෝ සදාචාරාත්මක අයිතියක්/බලයක් නැති බව ගැන දෙරණ දැනුවත් ද?

2. සන්දර්භයෙන් ගලවා වෙන්කර දේවල් තේරුම් ගැනීමේ අයුක්තිසහගත බව මෙන්ම භයානකකම (කලා කෘති කියවීම සම්බන්ධයෙන් විතරක් නෙවෙයි, සමාජ-දේශපාලන ජීවිතයේදීත්) ගැන සමාජ කණ්ඩායම් දැනුවත් ද?

දේවල් සන්දර්භයෙන් ගැල වූ විට අර්ථ විකෘති වීම පහදන්න ඒ කාලේ ගත්ත උදාහරණයක් ම ගන්නම්.

ලෙනාඩ් වුල්ෆ් ගෙ Village in the Jungle නවකතාවේ සිංහල පරිවර්තනය “බැද්දේගම” (පරි: ඒ.පී. ගුණරත්න) පොතේ එනවා වචනයක් ‘බුලත් පයිය’ කියල. ඒකෙ සරල තේරුම බුලත් පුවක් හුණු දුම්කොල දමන මඩිස්සලය කියන එක. දැන් මේ වචන දෙක එකතු වෙලා එක සංයුක්ත අර්ථයකුයි නිෂ්පාදනය කරන්නෙ. හැබැයි අපි ඒ වචන දෙකෙන් පලවෙනි වචනෙ අවධානයෙන් බැහැර කරල දෙවෙනි වචනෙ විතරක් කියෙව්වොත් ඒක කුණුහරුපයක් වෙනවා විතරක් නෙවෙයි, “බැද්දේගම” යම් විදිහකට වාරණයකට ලක්වෙන්නත් ඉඩ තියෙනවා. මෙතෙන්දි සරලව තේරුම් ගතයුතු දේ තමයි පළමු වචනය විසින් දෙවන වචනයට සන්දර්භයක් සපයනවා කියන එකත්, එවිට දෙවන වචනය හුදෙකලාව අරුත් නොනිපදවා පළමු වචනය සමග එක්ව ‘එක් අර්ථ ඒකකයක්’ බවට පත්වන බවත්.

ඒ වගේම එසේ දෙයක් සිය තත්‍ය සන්දර්භයෙන් ගැලවූ විට නිරුත්සාහකව ම වෙනත් ව්‍යාජ හෙවත් ද්‍රෝහී සන්දර්භයක (false context) එය ස්ථාන ගතවීම නොවැලක්විය හැකියි. මොකද ඕනිම දෙයක් කියවීම සඳහා සන්දර්භයක් සවිඥානිකව හෝ අවිඥානිකව සැපයෙනවා. මෙලෙස තමන්ගේ ක්‍රියා සහ සිතුවිලි මෙහෙයවන දෘෂ්ටිවාද මගින් අවිඥානික ව (සමහර විට සවිඥානික ව) සැපයෙන සන්දර්භවල තබා දේවල් කියවීමෙන් සිදුවන විනාශය එසේ ව්‍යාජ සන්දර්භවල තබා දේවල් කියවනු ලබන්නාට තේරෙන්නෙ නැහැ.

පහුගිය කාලෙ ලංකාවෙ සමාජය ඇතුළෙ සිදුවුණු බොහෝ කනගාටුදායක සිදුවීම් (විශේෂයෙන් ජාතිවාදී පදනම් මත) මෙලෙස ව්‍යාජ හෙවත් ද්‍රෝහී සන්දර්භවල තබා දේවල් කියවීමේ ආනිශංස බව නොලියා ම බැහැ. ද්‍රෝහී සන්දර්භ කියන වචනය මම පාවිච්චි කළේ එවන් සදොස් සන්දර්භගත කිරීම් ඇත්තටම මානව-ද්‍රෝහී, ශිෂ්ටාචාර-ද්‍රෝහී ක්‍රියා නිසයි.

ලියවිල්ල අනවශ්‍ය විදිහට දික් උන නිසා හෝ ගානා පොකුණේ අදාළ සංවාදය තත්‍ය සන්දර්භයේ තබා කියවූවා නම් මතුවිය හැකිව තිබූ අර්ථ ගැන පසුවට, හැකි උනොත් ලියන්නම්.

Copyright © 2017 LNW TODAYThemetf

To Top