විශේෂාංග

උසාවියටත් කොකා පෙන්වන මහවැලිය සහ හයිකාරයෝ

Published on: Nov 24, 2018 – අනුරාධපුර, නොච්චියාගම, අන්දරවැව රක්ෂිතය පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතුවූත්, ජෛව විවිධත්වයෙන් අනූන වූත් ප්‍රදේශයකි. මහවැලියට අයත් මෙහි සීරම්බාගම වැවෙහි රක්ෂිත ප්‍රදේශයද පිහිටා තිබේ. එසේම විල්පත්තු ජාතික වනෝද්‍යානයේ සිට කලා වැව රක්ෂිත ප්‍රදේශය දක්වා වන අලින්ගේ ප්‍රවේශ මාර්ගය පිහිටා තිබෙන්නේද මේ කියන අන්දරවැව රක්ෂිත ප්‍රදේශය හරහාය. මෙවන් වටිනාකමක් සහිත අන්දරවැව රක්ෂිතයෙන් අක්කර හතළිස් නමයයි දශම පහයි හතක ප්‍රදේශයක් දෙදහස් නමය වසරේ හෝටල් ව්‍යාපෘතියක් සඳහා ලබා දීමට කටයුතු කරන්නේ එහි භාරකාරත්වය දරන මහවැලි අධිකාරිය විසින්මය. වැව් රක්ෂිතයක මෙවැනි ඉදි කිරීමක් සඳහා අවසර ලබා දීම සිදු කළේ කෙසේද යන්න මෙහි ඇති පළමු ගැටලුවයි. වරණීය බදු පදනම යටතේ යම් පුද්ගලයෙකුට ඉඩමක් ලබා දීමට නම්, සුවිශේෂී හේතු තිබිය යුතුය. එහෙත්, මෙම ව්‍යාපෘතිය සඳහා එවැනි සුවිශේෂී හේතු කිසිවක් නොමැත. එහෙත්, පළමු පියවරේදීම ‘ගොයම් කා ඇත්තේ වැටත්, නියරත්’ නිසා සාක්කි දෙන්නට කිසිවෙකුත් නැත. රුපියල් එක් ලක්ෂ හතළිස් අට දහසක වාර්ෂික බදු මුදලකට ලබා දෙන මේ අක්කර හතළිස් නමයක භූමියේ ‘ෆොරස්ට් ෂොප් ගාර්ඞ්න්’ නමින් පෞද්ගලික හෝටල් සංකීර්ණයක් ඉදි වන්නේ ඒ නිසාය.

එසේ වැව් රක්ෂිතයේ භූමි ප්‍රදේශයක් ඉදිකිරීමක් සඳහා ලබා දීමෙන් මහවැලිය විසින් සිදු කළ අමනෝඥ ක්‍රියාව නිසා හෝටල් ව්‍යාපෘතිය ඉදි කිරීමෙන් පසු වර්ෂා කාලවලදී වැව් පිරී යාමෙන් අනතුරුව හෝටල් භූමිය අවට ප්‍රදේශයද ජලයෙන් යට වීම සාමාන්‍ය දෙයක් බවට පත්විය. තමන් ගත් අමන තීරණය නිසා ඇති වී තිබෙන තත්ත්වයෙන් ඇඟ බේරා ගැනීමට හෝටල් ව්‍යාපෘතියේ හිමිකරු සහ මහවැලියේ නිලධාරීන් ඉන් පසු කරන්නේ වැව් බැම්ම කඩා දැමීමට කටයුතු කිරීමයි.

මෙවැනි තත්ත්වයක් තිබියදී එම රක්ෂිත ප්‍රදේශයේම තවත් අක්කර විසිනමයක ප්‍රදේශයක් වන වගා ව්‍යාපෘතියකට ලියවිල්ලක් මගින් පවරා දීමට මහවැලි බලධාරීන් කටයුතු කරන්නේ දෙදහස් දහහතර වසරේදීය. වනාන්තරය තුළ ‘වන වගා’ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම එක්තරා ආකාරයක හාස්‍යජනක කටයුත්තක් වුවද, එය එසේ සිදු වන්නේ නව ව්‍යාපෘතිය සිදුකරන හෝටල් ව්‍යාපෘතියේ හිමිකරු වන බී. චන්ද්‍රසිරි යන අය වෙත කොන්දේසි විසිතුනක් ඉදිරිපත් කරමිනි. එහි එක් කොන්දේසියක් වන්නේ මහවැලිය විසින් ඉදිරිපත් කර ඇති කොන්දේසි කඩ කරන ඕනෑම මොහොතක නැවත මෙම ව්‍යාපෘතිය මහවැලිය වෙත පවරා ගන්නා බවට වන කොන්දේසියයි.

එසේ ඉදිරිපත් කර ඇති කොන්දේසි, කඩදාසියක වූ සටහන් පමණක් බව පෙන්වමින්, දෙදහස් දහසය වසරේ ව්‍යාපෘතිය ආරම්භ කරන්නේ මුල සිටම පැවති වනාන්තරය එළිපෙහෙළි කරමින් සහ බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් එහි යටි වියන සම්පූර්ණයෙන්ම විනාශ කර දමමිනි. මෙසේ සිදු කරගෙන යන විනාශය හමුවේ ප්‍රදේශයේ ගොවි සංවිධාන විසින් ඒ පිළිබඳව මහවැලිය වෙත පැමිණිලි කරමින් ඒ බව දැනුම් දෙන අතර, මහවැලි බලධාරීන් ඒ ගැන නිරීක්ෂණය සඳහා පැමිණෙන්නේ ඒ අනුවය. එසේ පැමිණි නිලධාරීන් විසින් ලබා දුන් වාර්තාවේ සඳහන් වන්නේ අදාළ ව්‍යාපෘතියේ හිමිකරු විසින් වනාන්තරයට හානි වන අයුරින් එළිපෙහෙළි කිරීම් සිදු කර ඇති බවත්, ඒ නිසා ගිවිසුම් කොන්දේසි කඩ කර ඇති බවත්ය. දේශපාලන අධිකාරියේ පූර්ණ ආශිර්වාදය ලබමින් ක්‍රියාත්මක වන මේ ව්‍යාපෘති සම්බන්ධයෙන් මහවැලියටද වාර්තා සකස් කිරීම සහ නියෝග නිකුත් කිරීමෙන් ඔබ්බට කළ හැකි කිසිවක් නොමැති බව පෙනී යන්නේ මතු වී ඇති තත්ත්වය සම්බන්ධයෙන් මහවැලිය සහ මධ්‍යම පරිසර අධිකාරිය විසින් නිකුත් කළ නියෝගද තඹේකට මායිම් නොකර ව්‍යාපෘතියේ කටයුතු දිගටම කරගෙන යාමට තරම් ව්‍යාපෘති හිමිකරු බලවත් වී සිටීම නිසාය.

මේ වන විනාශය නිසා වන අලින් ගම්වදින්නට පටන් ගත්තේ ගම්වැසියන්ගේ ජන ජීවිතවලටද බලපෑම් එල්ල කරමිනි. මේ නිසා ගම්වාසීන්ගෙන් මෙන්ම ගොවි සංවිධානවලින්ද මීට එල්ල වූයේ දැඩි විරෝධයකි. එහෙත්, සියලු විරෝධතා ගැන අබ මල් රේණුවක් තරම් හෝ තැකීමක් නොකර ව්‍යාපෘතියේ කටයුතු ඉදිරියටම සිදු වූ අතර, මේ ව්‍යාපෘතිය මගින් සිදු කර ඇති පරිසර විනාශය සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය විසින් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කරනු ලබන්නේ මේ අතරතුරය. එය මේ වන විටත් විභාග වෙමින් පවතියි. එසේම ගොවි සංවිධාන විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේද මේ සම්බන්ධයෙන් නඩුවක් පවරා තිබේ. එහිදී හෙළි වී තිබෙන්නේ වැවේ අධි ගංවතුර මට්ටමේ සිට මීටර් සියයක් ඇතුළත මෙම ඉදිකිරීම් සිදු කර ඇති බවත්, එවැනි ඉදි කිරීමකට අනුමැතිය ලබා දීම මගින් මහවැලිය වරදක් කර ඇති බවත්ය. ඒ බව පරිසර අධිකාරියත් මේ වන විට පිළිගෙන තිබේ.

එම නඩු පැවරීම් සමඟ ව්‍යාපෘතියේ කටයුතු යම් තරමක් මන්දගාමී වී දෙදහස් දහසයේ අගෝස්තු පමණ වන විට සම්පූර්ණයෙන්ම නතර වන තත්ත්වයකට පත් වී ඇත. එහෙත්, නැවතත් දෙදහස් දහහතේ අගෝස්තු වන විට ‘වන වගා ව්‍යාපෘතිය’ වෙනුවට ‘අපේ ගම’ ව්‍යාපෘතිය ලෙස එහි නම වෙනස් කර නැවතත් කඩිමුඩියේ වැඩකටයුතු ආරම්භ කරනු ලබයි. වන වගා ව්‍යාපෘතිය, අපේ ගම ලෙස වෙනස් වන විට එහි තිබූ වටිනා ගහකොළ විශාල ප්‍රමාණයක් දැව සඳහා කපා ඉවත් කරගෙන අවසන්ය.

එහෙත් ‘අපේ ගම’ නමින් ව්‍යාපෘතියක් දැනටත් බත්තරමුල්ල ප්‍රදේශයේ ක්‍රියාත්මක වන බැවින්, අපේ ගම, පුරාණ ගම බවට පත් වන්නේ ඉබේමය. ඒ අනුව වන වගා ව්‍යාපෘතිය අවසානයේ ‘පුරාණ ගම’ බවට පත් වී තිබේ.

මෙම නඩු විභාග වෙමින් පවතින අතරතුර දෙදහස් දහ අට වසරේ ජුනි විසිපස් වන දින ‘පුරාණ ගම’ ව්‍යාපෘතිය විවෘත කිරීමට සූදානම් කෙරෙන්නේ ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙනි. මධ්‍යම පරිසර අධිකාරිය පවතින්නේ ජනාධිපතිවරයා යටතේය. එමගින් නඩු පවරා ඇති තත්ත්වයක් තුළ එසේ නඩු පැවරූ ව්‍යාපෘතියක් විවෘත කිරීමට ජනාධිපතිවරයා පැමිණීම අපබ්‍රංශයකි. ඒ වෙනුවෙන් අනුරාධපුර ඇතුළු ප්‍රදේශය පුරාම පෝස්ටර් අලවා, කටවුට් ගසා ප්‍රසිද්ධ කර තිබිණි. කෙසේ හෝ ඒ සම්බන්ධයෙන් ඇති වන විරෝධතා හමුවේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා මෙම විවෘත කිරීමට සහභාගි නොවූවද, ජනාධිපතිවරයාගේ නියෝජිතයෙකු වශයෙන් දුමින්ද දිසානායක ඇමතිවරයාගේ සහ අගමැතිවරයාගේ නියෝජිතයෙකු වශයෙන් රවී කරුණානායකගේ සහභාගීත්වයෙන් මේ ‘පුරාණ ගම’ නම් ව්‍යාපෘතිය විවෘත වන්නේ අධිකරණයේ විභාග වන නඩු සම්බන්ධයෙන් ආණ්ඩුවේද කිසිම තැකීමක් නැති බව පැහැදිලිවම ප්‍රදර්ශනය කරමිනි.

එසේ විවෘත කරන විටත් ඉදි කිරීම් සම්පූර්ණ කර නොතිබී ඇති අතර, විවෘත කිරීමෙන් මාසයකට පමණ පසුව ජූලි තිස්එක් වන දින ගොවි සංවිධාන විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවරූ නඩුවෙන් ඉල්ලා තිබූ මෙම ව්‍යාපෘතිය තහනම් නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කරනු ලබයි. ඒ අනුව දැන් ව්‍යාපෘතියේ කටයුතු නතර කිරීම සඳහා අධිකරණ නියෝගයක්ද තිබේ. එහෙත්, ගැටලුව වන්නේ මේ වන විට අධිකරණ නියෝගද නොතකමින්, ව්‍යාපෘතියේ කටයුතු ඉදිරියට යමින් තිබීමයි. ඊට හේතුව දේශපාලන අධිකාරියේ ඇති බලපුළුවන්කාරකම බව ඉතාම පැහැදිලිය.

ඒ නිසා මේ මහා ජාතික අපරාධයට වගකිවයුත්තා ව්‍යාපෘති යෝජක බී. චන්ද්‍රසිරි පමණක් නොවේ. ඔහුට සිය සිතැඟි රිසි අයුරින් ක්‍රියාත්මක කිරීම සඳහා ඉඩම් ලබා දෙන මහවැලි අධිකාරියත්, තම ව්‍යවස්ථාපිත වගකීම් මගහැර යන සෙසු රාජ්‍ය ආයතනත් එම රාජ්‍ය ආයතනයන්ට හා නිලධාරීන්ට බලපෑම් කරන දේශපාලන බල අධිකාරියත් එක සේ වගකිව යුතුය.

තම අධිකාරියේ පාලනය යටතට පවරා ගන්නා ලද ඉඩම් සම්බන්ධයෙන්, එම ඉඩම් කෙරෙහි තමන් සතු නීතිමය වගකීම හා කාර්යභාරය සම්බන්ධයෙන් මෙන්ම ඉඩම්වල පවත්නා මහජන උපයෝගීතාවය හා ශක්‍යතාවන් සම්බන්ධයෙන් හරියාකාර දැනීමක්, අවබෝධයක් මෙන්ම ප්‍රායෝගික සැලැස්මක් නොමැති මහවැලි සංවර්ධන අධිකාරිය සහ එහි පෙර සිටි මෙන්ම අද සිටින අදූරදර්ශී, මුදලට සහ බලයට යට වුණු ඉහළ සිට පහළ දක්වාම නිලධාරීන් මේ සඳහා ප්‍රථම කොට වගකිව යුතුය. වන රක්ෂිත භූමියක් මේ ආකාරයට වරණීය බදු පදනම මත එක් පුද්ගලයකුට, පෞද්ගලික සමාගමකට ලබා දෙන්නට හැකියාවක් පවතින්නේද යන්න මෙන්ම එවැනි ලබා දීමක් සිදු කළ යුත්තේ කවර නීති විධිවිධාන යටතේද යන්න පිළිබඳ මූලික දැනීමවත් මහවැලි සංවර්ධන අධිකාරියට නැත. ඔවුන් සිතන්නේ තමන් යටතේ පවත්නා ඉඩම් ඔවුන්ට රිසි සේ හැසිරවිය හැකි බව හා ඊට අධ්‍යක්ෂ මණ්ඩල තීරණයක් ප්‍රමාණවත් වන බව පමණි. පවත්නා ඇතැම් නීති තත්ත්වයන් සංශෝධනය කිරීමේ අවශ්‍යතාව මේ වන විට දැඩි ලෙසම දැනී ඇති බැවින්, ඒ සඳහා පුළුල් නීතිමය කතිකාවතක් ඇති කළ යුතුය. ඒ තුළින් බලධාරීන්ගේ දෑස් විවර කළ යුතුය. එසේ නොවුවහොත් අන්දරවැව රක්ෂිතය පමණක් නොව ලංකාවේ ඉතිරි වී ඇති සෙසු වන රක්ෂිතවලටද අත්වන ඉරණම මීට වෙනස් විය නොහැක.

විශේෂයෙන්ම මෙම විනාශය ආරම්භ කළ දිනයේ සිටම මහජනයා විසින් උද්ඝෝෂණ සිදු කළද, කෙතරම් දැනුම්වත් කිරීම් සිදු කළද, ලියාපදිංචි තැපෑලෙන් කෙතරම් ලිපි ලිව්වද ඒ කිසිදු දෙයකට, ලිපියකට එක වචනයකින් හෝ පිළිතුරක් ලබා නොදෙන්නට තරම් මහවැලියට ලැබුණු හයිය කුමක්ද යන්න පිළිබඳව මහජනතාව දැනුම්වත් විය යුතුය.

යම් ව්‍යාපෘතියක් අධිකරණවල නඩු පවරා තිබියදී පමණක් නොව එම නඩු සඳහා ලබා දුන් තීන්දුද තිබියදී එකී ව්‍යාපෘතිවල නම් වෙනස් කරමින් ඉදිරිපත් කරනු ලබන ඉල්ලීම් භාර ගැනීම සහ එම ඉල්ලීම් සඳහා නිර්දේශයන් හා අනුමැතීන් ලබා දීම් සඳහා අදාළ බලධාරීන් විසින් ක්‍රියාත්මක වීම හා ඉදිකිරීම් දිගින් දිගටම කරගෙන යාමට ඉඩහැරීම මගින් ඔවුන් විසින් අධිකරණයට සිදුකරන අපහාසය හා හෑල්ලුව සුළුපටු නොවන්නේය.

චතුර දිසානායක

Copyright © 2017 LNW TODAYThemetf

To Top